දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අමතර මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.
ඒ අනුව ඉන්දු-පැසිෆික් කලාපයේ මෑත කාලීන සුළි කුණාටු සහ ගංවතුරෙන් වන ආපදා බලපෑම්වලට සහනයක් ලෙස ඇල්බනීස් රජය හදිසි ආධාර වශයෙන් අතිරේක ඩොලර් මිලියන 5 ක් ලබා දෙන බවයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
මෙමඟින් ඔක්තෝබර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ මුළු ආධාර ඩොලර් මිලියන 14 ඉක්මවන අතර, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට හදිසි ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා එරට රජය දේශීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට සහාය වනු ඇති.
එහිදී අද දින නිවේදනයට අනුව ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සඳහා අතිරේක ඩොලර් මිලියන 2.5 ක් ලබා දෙන අතර එමඟින් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට ලබාදෙන සමස්ත ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3.5 දක්වා වැඩි කෙරෙනවා.
මෙහිදී හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉල්ලීම පරිදි ඕස්ට්‍රේලියානු රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සහාය ලබා දීමට නියමිතව ඇති අතර, බලපෑමට ලක් වූ සියලුම රටවල් සමඟ ඕස්ට්‍රේලියාව සම්බන්ධ වී සිටින බවද සඳහන්.
එසේම ඕස්ට්‍රේලියාවේ සහයෝගය හදිසි සහන සැපයුම්, නවාතැන්, ආහාර, ජලය සහ සනීපාරක්ෂාව සපයන අතර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා සහාය ඇතුළුව අවතැන් වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලයි.
ඔවුන් පවසන්නේ එම අරමුදල් මගින් කාන්තාවන්, ගැහැණු ළමයින් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දෙනු ලබන බවයි.











