උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් දිවි අහිමිවූවන් ගණන තවත් ඉහළට

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙරළ තීරයේ රැදී සිටි පිරිස් ඉලක්ක කරගනිමින් තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එරට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 42දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, බොන්ඩයි වෙරළ තීරයේ ඊයේ (14) පැවති යුදෙව් ජාතිකයින්ගේ ආගමික උත්සවයක් වන ‘හනුක්කා’ සැමරුමකට මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණා.

මෙම උත්සවයට පුද්ගලයින් 1,000ක පමණ පිරිසක් සහභාගී සිටි බැවින් වාර්තා වන්නේ.

නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් වෙඩික්කරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර මාධ්‍ය වාර්තා දක්වන්නේ එහිදී එක් වෙඩික්කරුවෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

අදාළ වෙඩික්කරුවන් දෙදෙනා පියපුතු දෙපලක් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ පියා බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔහු දිගු අවි සඳහා බලපත්‍රයක් ද හිමිකරගෙන සිටි බවයි පොලිසිය පවසා ඇත්තේ.

මේ අතර මෙම සිදුවීම සිය ජාතියේ හදවතට එල්ල කළ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්, සිද්ධිය දැඩිව හෙළා දකිමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා තිබෙනවා.

එමෙන්ම, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ද ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙය යුදෙව්වන්ට එරෙහි කුරිරු ප්‍රහාරයක් ලෙස හැඳින්විය හැකි බවයි.

Shares: