Global Platform For All Sri Lankans

දීඝදන්තු හස්තියාගේ උදරයේ තිබී දහයේ කාසියක් හමුවෙලා..

ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය ‘කලා වැවේ හැඩකාරයා’ හෙවත් ‘දීඝදන්තු’ හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම සත්ත්වයාගේ මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගළය සහිත හිස කොටස කඳෙන් වෙන්කර, ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිළධාරීන් පසුගියදා (29) කටයුතු කර තිබුණා.

ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගිය එම හිස කොටස නිළධාරීන් විසින් ආරක්ෂිතව වළ දැමීමට කටයුතු කර ඇති බව ද සඳහන්.

හස්තියාගේ දළ යුගළය ආරක්ෂිතව ගලවා ඉවත් කිරීම සඳහා එම හිස කොටස ඉදිරියේ දී නැවත ගොඩගැනීමට නියමිත බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.

‘දළ දෙකේ විශාලත්වය’ සහ ‘වයසින් වැඩිම හස්තියා’ වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වයයි.

විදුලි සැර වැදී හදවත අක්‍රිය වීම හේතුවෙන්, මෙම සත්ත්වයාගේ මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියා.

මෙම ඇතා මිය යෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රක්ෂණ සමාගමක කළමණාකරුවෙකු වන සැකකරු පසුගියදා (29) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔහුගේ නිවසේ තිබී විදුලි රැහැන් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

පලාගල ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර මෙම සත්ත්වයා වෙනුවෙන් පාංශ කූලය ලබා දීම ද පසුගිය 29 වැනිදා දහවල් සිදු කෙරුණේ අනුරාධපුරයට මහ වැසි ඇද හැළෙන මොහොතකදී යි.

මේ අතර පසුගියදා (29) දීඝදන්තු හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී එම සත්ත්වයාගේ උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads