Global Platform For All Sri Lankans

Lanka Hit News

පාසල් ළමුන්ට දීමනාවක්

 

ලබන 2025 වස‍ර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 6000 බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ.

පසුගිය ආර්ථික අර්බුද පැවති සමයේ පාසල් දරුවන්ගෙන් 55%කට අධික ප්‍රමාණයක් ඉතා අහිතකර ආර්ථික දුෂ්කරතාවන්ට ගොදුරු වී ඇති අතර ග්‍රාමීය හා වතුපාසල් ආශ්‍රිත ව මේ තත්වය වඩාත් උග්‍ර අතර ඉන් 53%කට අධික දරුවන් සංඛ්‍යාවක් පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම ඉතා අවම කර හෝ මුළුමනින් ම නවතා දමා ඇති බවත් 26% ඉක්මවූ පිරිසක් පෙර භාවිත කරන ලද ලිපිද්‍රව්‍ය ම නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව හෙළි වී ඇතැයි අග්‍රාමාත්‍යවරිය මෙහි දී සඳහන්කර සිටියා.

එම ආර්ථික දුෂ්කරතා මගින් දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කර ඇති අහිතකර බලපෑම අවම කරගැනීමේ අපේක්ෂාවෙන් රජය මෙම මූල්‍ය දීමනාව ලබන වසර මුල සිට ම සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බවත් දැනට ‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමි පවුල්වල දරුවන් අටලක්ෂ විසිපන්දහසක් සහ අස්වැසුම හිමිකම් නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකටත් මෙම දීමනාව හිමි වන බවයි අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ.

මේ සඳහා වයස අවුරුදු 5ත් – 18ත් අතර දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ පිරිසක් සුදුසුකම් ලබන බවත් ඊට අදාළ මුදල වන රුපියල් මිලියන 6500ක ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවත් කී ඇය අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් වඩාත් ප්‍රශස්ථ ක්‍රමවේදයක් සකසා මෙම දීමනාව සිසුන්ට ලබා දෙන බවයි පවසා සිටියේ.

මීට අමතර ව පාසල් දිවා ආහාර වැඩසටහන වැනි ‍දැනට පවත්නා වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් හා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදු කරමින් දරුවන් පාසල තුළ රඳවා ගැනීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ගන්නා බව ද හරිනි අමරසූරිය පවසා සිටියා.

2025 වසරේ දීත් රජයේ පාසල් නිල ඇඳුම් සැපයීමේ වැඩසටහනට අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති බව කෘතවේදී ව මෙහි දී සිහිපත් කළ ඇය ප්‍රකාශ කළේ මෙවැනි කටයුතු කඩාකප්පල් කිරීමට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් තරයේ ම හෙළා දකින බවයි.

රට අභියෝග රැසකට මුහුණ දී තිබෙන පසුබිමක වෙනත් රටවල් හමුවේ වත්මන් ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් අසමත් බව ප්‍රකාශ කිරීමට විපක්ෂය ක්‍රියා කළත් ඉන්දියානු සංචාරයක නිරත වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කිරීම මගිනුත් ආණ්ඩුවේ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ නිවැරදි අදහසක් ගත හැකි වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, පෙර මෙන් පාර්ලිමේන්තුව තුළ හොරමැරකම් පිළිබඳ නොව මන්ත්‍රීවරුන්ගේ ආධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ දැඩි ප්‍රශ්න කිරීමක් ආරම්භ වී තිබීම එක්තරා ඉදිරි පියවරක් වන නමුත් එම ප්‍රශ්න කිරීමේ අවංකභාවය හා සත්භාවය රැඳී තිබෙන්නේ නම් එය ඉතා යහපත් දෙයක් වන බවයි.

එසේ ම තම ආණ්ඩුව තුළ ආචාර්ය, මහාචාර්ය ධුර දරන මන්ත්‍රීවරුන් මෙන් ම වෙනත් දැනුම් මූලාශ්‍ර හා අධ්‍යාපන මාවත් ඇසුරින් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම හා සුදුසුකම් සැපිරූ සියලු දෙනා එක හා සමාන පිළිගැනීමකට ලක් වෙමින් සිටින බවත් එම විවිධත්වය ශක්තියක් සේ තමන් දකින බවත් ඇය මෙහි දී පවසා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads