Global Platform For All Sri Lankans

Lanka Hit News

මහර බන්ධනාගාර නඩුව වැලිසර අධිකරණය අවසන් කරයි

 

මහර බන්ධනාගාරය තුළදී රැඳවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුව තවදුරටත් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා දුන් දැනුම්දීම මත එම නඩුව අවසන් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විදාන නියෝග කළා.

මේ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සඳහන් කළේ අදාළ නඩුව අභියාචනාධිකරණයේ ගොනු කර අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු කරන බවයි.

2020 වසරේ මෙරටට බලපෑ දරුණු කොවිඩ් වසංගත සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්, උසාවි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම, ඇප ලබා දිය හැකි අයට ඇප ලබා දීම, කොවිඩ් පරීක්‍ෂණ සිදුකිරීම සහ කොවිඩ් වෛරසය ආසාදනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබා දීම යන ඉල්ලීම් මත බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවක නිරත වුණා.

පසුව රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ කිරීමත් සමග එය ගැටුමක් දක්වා වර්ධනය වුණා.

තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වූ අතර එහිදී කඳුලු ගෑස් ප්‍රහාර සහ වෙඩි තැබීමක්ද සිදු කළා.

එම අවස්ථාවේ රැඳවියන් 11 දෙනෙකු වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ අතර රැඳවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලැබුවා.

මියගිය රැඳවියන් සම්බන්ධයෙන් නඩු කටයුතු පැවැත්වුණත් එම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නීතිපතිවරයා විසින් ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

එම ලිපිය මගින් නීතිපතිවරයා දැනුම් දී තිබුණේ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බවයි.

මෙලෙස නීතිපතිවරයා විසින් සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධියට සම්බන්ධ බව කියන බන්ධනාගාර නිලධාරීන්.

කෙසේ වෙතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා එම නඩු ගොනුව වසා දැමීම පුදුම සහගත බව පැවසූ වැලිසර මහේස්ත්‍රාත්වරයා එය එකවර වසා දැමීම ප්‍රතික්ෂේප කරමින් ඒ ගැන අගතියට පත් පාර්ශවය දැනුම්වත් කළ යුතු බව සඳහන් කළා.

ඒ අනුව නැවත නොවැම්බර් 22වනදා නඩුව කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අනුව නැවත නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශවය ඉදිරියේ සඳහන් කළේ මියගිය රැඳවියන් 11 දෙනා මරණයට පත්ව ඇත්තේ උදරයට ඉහළින් සිදුවූ වෙඩී තැබීම් හේතුවෙන් බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වන අතර එය කිසිසේත්ම අවම බලය භාවිත කිරීමක් ලෙස සැලකිය නොහැකි බවයි.

එම නිසා තමන් එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කළ බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශ්වයට සඳහන් කළේ තමන් සිදු කළ නියෝගය සහ නීතිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අතර ගැටීමක් ඇති වන බවයි.

මෙම අධිකරණයට නීතිපතිවරයාගේ බලය අතික්‍රමණය කිරීමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ගොස් ඉල්ලීමක් කරමින් සුදුසු විකල්පයක් සිදුකරන ලෙසට අගතියට පත් පාර්ශ්වයට දුන්නා.

ඒ අනුව නඩුව සම්බනධයෙන් අවසන් තීරණය ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොල්සිටර් ජනරාල්වරයා සඳහන් කළේ අධිකරණය තුළ විශේෂ දේශනයක් කිරීමට අවශ්‍ය බවයි.

එයට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් අතර ඔහු සඳහන් කළේ මියගිය රැඳවියන් 11 දෙනාගේ සිරුරු තුළ තිබී හමුවූ උණ්ඩ මූනිස්සන් කුමන ආයුධවලින් පිටවූ ඒවාද යන්න රස පරීක්ෂක වාර්තාවේ හෝ කිසිදු වාර්තාවක සඳහන් නොවන බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ රැඳවියන්ගේ අතේ ගිනිඅවි නොතිබූ අතර ඔවුන් අත තිබුණේ පොලු මුගුරු නම් උණ්ඩ මූනිස්සම් පොලු මුගුරුවලින් පිටවූයේ කෙසේද යන්නයි.

මේ අතර වැඩිදුරටත් අධිකරණයේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කලේ මෙම ගැටුම හේතුවෙන් ලක්ෂ 185ක පාඩුවක් බන්ධනාගාරයට සිදුව ඇති බවයි.

බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති බව නැවත සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම නඩුව මෙම අධිකරණයේ පවත්වාගෙන යා නොහැකි බව සඳහන් කළා.

ඒ අනුව සිද්ධියට අදාළ නඩුව තවදුරටත් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යා නොහැකි බවට දැනුම්දුන් මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විදාන නීතිපතිවරයාගේ නිර්දේශ මත නඩුව අවසන් කිරීමට නියෝග කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads