ගත වූ පැය කිහිපය තුළ දියේ ගිලී විදේශිකයෙකු මිය ගොස්, තවත් අයෙකු අතුරුදන් තිබෙනවා.
මිය ගිය විදේශිකයා 33 හැවිරිදි රුසියානු ජාතිකයෙකු වන අතර හික්කඩුව – තිරාණගම ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවීමෙනුයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
අතුරුදන් පුද්ගලයා මදුරන්කුළිය පාලසෝල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන අතර මහව, පාලුගම වැවේ දිය නාමින් සිටියදී ඊයේ පස්වරුවේ එම අනතුර සිදුව තිබුණා.
මේ අතර, හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගිය දරුවන් සිව් දෙනෙකු ඇතුළු විදේශිකයන් පස් දෙනෙකු පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. මෙලෙස බේරාගෙන ඇත්තේ කුඩා ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවක වන අතර ඔවුන් රුසියානු සහ කොලොම්බියානු ජාතිකයින්.
එමෙන්ම, අම්පාර – තිරුක්කෝවිල්, සංගමන්කන්ද මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පියා සහ පුත්‍රයාගේ මෙන්ම ඔවුන්ව බේරා ගැනීමට ගිය පුද්ගලයාගේ සිරුරු ඊයේ පස්වරුවේ සොයා ගනු ලැබුවා. ඔවුන් මෙම අනතුරුට ලක් වූයේ නත්තල් දිනයේ දිය නෑමට ගිය අවස්ථාවේදියී.
මේ අතර, ගෙවුනු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 06 කින් පොලිස් සැරයන්වරෙයකු ඇතුළු 06 දෙනෙකු මියගොස් මාස 04ක කුඩා දරුවෙකු තුවාල ලබා තිබෙනවා.
හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසලදී පොලිස් නිලධාරීන් වාහන පරික්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටියදී , ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් තිබූ ලොරි රථයක සහ මෝටර් රථයක ගැටීමෙනුයි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබුණේ, 56 හැවිරිදි කන්තලේ – භාතියගම ප්‍රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.
එමෙන්ම, එම අනතුරෙන් මෝටර් රථයේ සිටි කාන්තාවක්,මාස 04ක කුඩා බිළිදෙකු සහ ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට මාරු කර යැවුණා.
මහනුවර – කුරුණෑගල මාර්ගයේ උදරාගම ප්‍රදේශයේදී මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැතිරෝදය ගැලවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රි රෝද රථයක් සහ වෑන් රථයක් ගැටී සිදු වූ අනතුරකින් ද ත්‍රි රෝද රථයේ ගමන් කළ 60 හැවිරිදි මහනුවර දොඩවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මිය ගොස් තිබුණා.
එමෙන්ම, කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ වැන් රථයක් මදික මැරුවේ ගමන් කල කාන්තාවක ගැටී සිදු අනතුරින් 78 හැවිරිදි කුලියාපිටිය ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව මිය ගොස් තිබුණා.
මේ අතර කොල්ලුපිටිය,බණ්ඩාරවෙල සහ ඇතිමලේ යන ප්‍රදේශ වල ද සිදු වූ රිය අනතුරු වලින් 51, 46 සහ 29 යන වයස් වල පසුවන පුද්ගලයින් ජිවිතක්ෂයට පත් ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.