වී සඳහා රුපියල් 130ක අවම මිලක් අවශ්‍ය බව ජාතික සහල් කර්මාන්තකරුවන්ගේ සම්මේලනය පවසනවා.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් වේලාගත නොහැකි වූ තෙත වී මිලදී ගැනීම සඳහාද රජය කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර හිටපු කෘෂි අධ්යක්ෂ කේ.බී.ගුණරත්න පවසන්නේ මෙවර මහ කන්නයේ නාඩු වී අධිකලෙස වගාකර ඇති නිසා ඉදිරියේදී කීරි සම්බා සහල් හිඟයක් ඇති වීම වළක්වාගත නොහැකි වනු ඇති බවයි.
මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර දෛනික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 6500ක් .
කෙසේ වෙතත් පසුගිය සමයේ අවස්ථා කිහිපයකදීම පැවැති අයහපත් කාලගුණය හමුවේ 2024/2025 මහකන්නයේ කුඹුරු රැසක් ජලයෙන් යට වූ අතර ඒ අනුව කුඹුරු හෙක්ටයාර 140,000කට පමණ හානි සිදුව තිබුණා.
එවැනි පසුබිමක ඊසාන දිග මෝසම ද සක්‍රීය වීම හමුවේ දින කිහිපයක සිට ඇදහැලෙන වර්ෂාව නිසා ඊයේ දිනය වන විට උතුරු නැගෙනහිර පළාත්වල පමණක් නෙළීමට ආසන්න ගොයම් සහිත කුඹුරු හෙක්ටයාර 1000කට හානි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජලගැලීම්වලට හසුව කුඹුරු විනාශ වීම සහ නිසි කලට පොහොර නොලැබීම හමුවේ මෙවර මහ කන්නයේ අස්වැන්න 20%ක් පමණ අඩු වනු ඇතැයි විශ්වාස කරනවා.
මෙවර මෙට්‍රික් ටොන් මිලියන 2.8ක පමණ වී අස්වැන්නක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස 8කට පමණයි
ජාතික සහල් කර්මාන්තකරුවන්ගේ සම්මේලනය පවසන්නේ කෘෂි උපකරණ සඳහා වැය වන දරාගත නොහැකි අධික මිල හේතුවෙන් වී සඳහා රුපියල් 130ක සාධාරණ සහතික මිලක් අවශ්‍ය බවයි.
මේ අතර මෙවර මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධ සාකච්ඡාවක් පොළොන්නරුව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.
සහල් සඳහා පනවා ඇති පාලන මිල හමුවේ වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තවදුරටත් වැටලීම් සිදු කරනවා.
මෙවන් පසුබිමක ප්‍රදේශ රැසක රතු කැකුළු සහල් හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. සහල් හිඟයට පිලියම් ලෙස සහල් ආනයනය කිරීමට රජය පියවර ගත්තද රතු කැකුළු සහල් හිඟයට තවමත් විසඳුම් ලැබී නොමැති බවට ජනතාව මැසිවිලි නගනවා.