ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනය කළ වෙඩික්කරු ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ.
එම වෙඩි තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ දහයක් අඩංගු මැගසිනය මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් තවත් ගිනි අවියක්ද සොයාගෙන ඇත.
දැනට ප්‍රකාශ කර ඇති පාපොච්චාරණය අනුව විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමන් කොල්ලා රුපියල් ලක්ෂ 11ක මුදලක් සැකකරු වෙත ලබා දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අහිතකර ආහාර ගැන නම් සහිත හෙළිදරව් කිරීම් යූටියුබ් ඔස්සේ දැනුවත්කරමින් කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනය කරවන්නේ එම අහිතකර ආහාර නිෂ්පාදනයට සම්බන්ධ අයකු බවට අනුමානයක් පැවතිණි. ඒ අනුව විදේශගතව සිට මුදල් යොදවා මෙවැනි ඝාතනයක් කරවූ පාතාල නායකයාට අනුබල දුන් අයගැනද සෙවීම වැදගත් වනු ඇත.
පොලිසිය පවසන ආකාරයට මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරු අල්ලාගැනීමේ කතාව වෙනම එකකි. එනම් වෙඩික්කරු හසුවන්නේ වෙනත් වරදකටය.ඔහුගේ කරන්දෙණිය PHI ඝාතන ක්‍රියාව හෙළිවන්නේ අහම්බෙනි.
පසුගිය ජුනි 22 වන දින සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් අනුව හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම මුලින්ම සිදුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කහතුඩුව, පොල්ගඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරුගේ ජංගම දුරකතනය ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී සැකකරු තාවකාලිකව පදිංචිව සිටි පැපිලියාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 10ක් හා පතරොම් ගැබ් 01ක් දපොලිස් භාරයට ගෙන තිබුනි. ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පිස්තෝල ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශනය සිදු කිරීමේදී සැකකරු මෙම ආයුධ තබාගෙන කළ අපරාධ ගැන දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කර තිබේ.
ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේ දිනෙක ඇල්පිටිය පොලිස් වසමේ පතිරාජවත්ත ප්‍රදේශයේ අවුරුදු 51 ක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත් බවද පවසා තිබේ.
යතුරු පැදියකින් තවත් අයෙකු සමග ගොස් වෙඩි තබා ඝාතනය සිදුකළ බවත් විදේශීය රටක සිටි පාතාල නායකයෙකු විසින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සඳහා සැකකරුට මුදල් එවා තිබූ බවත් ඔහු හෙලි කර තිබේ.
කරන්දෙණියේ හිතහොඳ දොස්තර, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, වැලිකඩ
බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් ඇතුළු දකුණේ ඝාතන
ගොන්නකට වගකිව යුතු බව කියන ඩුබායිහී රැඳී සිටින බව කියන කරන්දෙණියේ
සුද්දා නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ මෙහෙයවීම මත මෙම
ඝාතනය සිදු කර ඇති බව විමර්ශනයේදී පෙනී යන්නේ යැයි පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ ඝාතනයේ වෙඩික්කරුද මෙම සැකකරු
බවට සැක කරන තොරතුරු අනාවරණය වී ඇති බැවින් එය තහවුරු කර ගැනීමට
විමර්ශන පැවැත්වෙයි.
අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරුව මෙම ඝාතනය සඳහා මෙහෙයවා
ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයෙක් වන සමන් කොල්ලා නමැත්තා බව පොලිසිය විශ්වාස කරයි. සමන් කොල්ලා සිටින්නේ ඩුබායිහිය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික
දීපාල් රොෂාන් කුමාර විතානාරච්චි මහතාගේ ඝාතනය සිදු කළේ කුමන
අරමුණකින්දැයි පැහැදිලිවම මෙතෙක් හෙළි වී නැත. එහෙත් වෙඩික්කරුට
මෙම ඝාතනය සඳහා රුපියල් ලක්ෂ 11ක මුදලක් ලැබී ඇති බව විමර්ශනයේදී
හෙළි වී තිබෙන බව පොලිසිය කියයි. එම මුදල වෙඩික්කරුගේ බිරියගේ ගිණුමට
බැර වී ඇති බව ද කියයි. එම මුදල් බැර වී ඇත්තේ මුලින් රුපියල් ලක්ෂ 08ක්
වශයෙන් සහ පසුව රුපියල් 5,000, 10,000, 15,000, 20,000 වශයෙන් බව
පොලිසිය කියයි. පෙබරවාරි මාසයේ සිට එම මුදල් බැර වී තිබෙන බවත්
විමර්ශනයේදී අනාවරණය වී ඇත.
දැඩි ආන්දෝලනයකට තුඩුදුන් ඝාතනයක් වන ශ්‍රී ලංකා මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික දීපාල් රොෂාන් කුමාර
විතානාරච්චි මහතාගේ ඝාතනය සිදුවූයේ පසුගිය පෙබරවාරි 26 වැනිදා
උදෑසන කාලයේදීය. යතුරුපැදියකින් පැමිණ මෙම ඝාතනය සිදුකර තිබුණේ
සිය දරුවා පාසලට රැගෙන යෑමට ඔහු සූදානමින් සිටියදීය.
මෙම ඝාතන කොන්ත්‍රාත්තුව තමාට පවරමින් සමන් කොල්ලා පවසනු ලැබුවේ
විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකුට වැඩක් දෙන්නට ඇතැයි කියා බවද
ප්‍රශ්න කිරීම් හමුවේ වෙඩික්කරු පවසා ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේම නිවසක දකුණේ
පොලිස් ස්ථානයක සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් පදිංචිව සිටින
බැවින් ඝාතන කොන්ත්‍රාත්කරුගේ ඉලක්කය එම නිලධාරියා වී දැයි සැකයක්ද
මෙහිදී පැන නැඟී ඇත. උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ එම නිලධාරියා
පොලිස් සේවයේ තවදුරටත් සිටින නිසාත් ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙක්
නිසාත් ඝාතන ඉලක්කය ඔහු නොවන බවය. වෙඩික්කරු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ
පවසා ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙක් යැයි කියා තමාට ලබාදුන් ඡායාරූපයේ
සිටියේ තමා වෙඩි තැබූ පුද්ගලයා බවය. ඒ අනුව වෙඩික්කරුට ඉලක්කය වැරදී
නොමැති බව පැහැදිලි බව උසස් පොලිස් නිලධාරියා කීය.
ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු හෙළි කර ඇත්තේ තමා වෙඩි තැබුවේ
විශ්‍රාමික පොලිස් නිලධාරියකුට නොව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට
බව දැනගන්නේ රූපවාහිනියේ සහ පත්තරවල ප්‍රවෘත්තිවලින් බවය.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් 2019 වසරේදී පොලිසියට හසුවී ගාල්ල
බන්ධනාගාරයේ සිටියදී දැන හඳුනාගත් අයෙක් මඟින් මෙම ඝාතන
කොන්ත්‍රාත්තුව තමාට ලැබුණු බවද ඔහු පවසා ඇත. ඊට අවශ්‍ය ගිනිඅවිය මෙන්ම
පහසුකම්ද තමාට ඩුබායි සිටින අයගේ මෙහෙයැ වීම මත ලැබුණු බවද ඔහු
අනාවරණය කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකයාගේ ඝාතනය සිදු කළේ දින 15ක්
ඌරගස්මංහන්දියේ ගල්පොත්තාවෙල නිවෙසක රැදී සිට බවය. අවශ්‍ය හැම
පහසුකමක්ම ඩුබායි සිට තමාට ඇමතුම් දුන් පුද්ගලයා ලබාදුන් බවද ප්‍රශ්න
කිරීම් හමුවේ ඔහු පවසා ඇත. එම නිවසේ ජීවත්ව සිට ඇත්තේ අඹුසැමි යුවළක් සහ
එම යුවළගේ තරුණයෙක් වූ පුතු බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරයාගේ ඝාතනයෙන් දින කිහිපයකට පසු එම තරුණයා ඩුබායි බලා
පලාගොස් ඇතැයි ද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ
තොරතුරු මත අඹුසැමි යුවළද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කරන්දෙණිය
සුද්දාගේ සහ සමන් කොල්ලාගේ සමීපතමයන් බව පෙනී ගොස් තිබේ.
පෙබරවාරි 26 වැනිදා උදෑසනම තමාට අඹුසැමි යුවළගේ පුතා
යතුරුපැදියක් ගෙනවිත් දුන් බවත් තමා එහි නැඟී මඳ දුරක් ගමන් කරන විට
අතරමඟදී පුද්ගලයෙක් හමුවූ බවත් එතැන් සිට යතුරුපැදිය පදවනු ලැබුවේ
එම පුද්ගලයා බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත. එම පුද්ගලයා
කවුරුන්දැයි තමා නොදන්නා බව ඔහු පවසා තිබේ. සියලු සම්බන්ධීකරණ කටයුතු
ඩුබායි සිට දුරකතන ඇමතුමක් දෙමින් පවසා තිබේ. යතුරුපැදිකරු
ඉලක්කයට යන මාර්ගය නිශ්චිත ලෙස නොදැන සිටි බවත් ඩුබායි සිට ගමන් කළ යුතු
මාර්ගය දැක්වෙන වීඩියෝවක් තමාට වට්ස්ඇප් කර එවූ බවත් ඒ ඔස්සේ මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට ගොස් ඝාතනය සිදුකළ බවත් අත්අඩංගුවේ
පසුවන අය පවසන බව පොලිසිය කියයි. මාර්ගය දැක්වෙන වීඩියෝවට අමතරව
ඝාතනය කළ යුතු අයගේ ඡායාරූපයක්ද තමාට යොමු කළ බවත් තමා ඒ ඡායාරූපයේ
සිටි පුද්ගලයාටම වෙඩි තැබූ බවත් ඔහු පවසා ඇත.
ඩුබායි සිට මෙම පුද්ගලයාට වට්ස්ඇප් පණිවුඩ ලබා දෙමින් ඔහුව
මෙහෙයවීමට යොදාගත් දුරකතනය ද පොලිසිය සොයාගෙන තිබේ. මකා දමා ඇති
එහි දත්ත මතුකර ගැනීමට එම දුරකතනය අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට ඊයේ භාර දී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමෙන් අනතුරුව
අතරමඟින් යතුරුපැදියෙන් බැස ත්‍රිරෝද රථයකට ගොඩවී ප්‍රධාන
මාර්ගයට ගොස් මාතර බලා යන බස් රථයකින් මාතරට ගිය බවද ඔහු පවසා ඇත.
අනතුරුව වැල්ලවායට ගොස් එහි හේනක ඇති වාඩියක සැඟවී සිට නැවත පැමිණ
ඇත්තේ පැපිලියානේ නිවස කුලියට ගැනීම සඳහාය. එතෙක් ඔහුගේ බිරිඳ හා
දරුවන් පදිංචිව සිට ඇත්තේ කහතුඩුවේ බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.
ඌරගස්මංහන්දියට ගොස් කළ විමර්ශනයේදී සැකකරුගෙන් ලද තොරතුරු මත
කුඩා වන ළැහැබක සඟවා තිබී ඉතාලියේ නිෂ්පාදිත මිලිමීටර් 08 වර්ගයේ
ගිනිඅවියක් ද අත්බෝම්බයක් ද සොයාගත් බව ද පොලිසිය කියයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු
බවත් ඩුබායි සිට ඔහුව මෙහෙයවූ අය ගැන මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා
ඝාතනය කිරීමේ සැබෑ හේතුව පවා හෙළි කර ගැනීමට ඇති බවත් වෙඩි තැබුවේ සැබෑ
ලෙසම මෙම පුද්ගලයාගෙන් සොයාගත් ගිනිඅවියෙන්මදැයි සැක හැර
දැනගැනීමට රස පරීක්ෂක වාර්තා කැඳවිය යුතු බවත්පොලිසිය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News