Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 03:46 pm ,
0
0
9 views

අල්ලස් කොමිසම නීති දැඩි කරයි

  • newsLankahit news
  • 9 views
  • 0 comments

 

අල්ලස් ගැනීමට අදාළව දැනට පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව පැමිණිලි අනුව, තරාතිරම නොබලා ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බවයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.  

මෙවන් පසුබිමක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. 

චෝදනා 03ක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු ඊයේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර අදාළ ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනුණා. 

අනතුරුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චෝදනා දෙකකට ඇප නියමු වූ අතර අනෙක් චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අදාල පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර මන්ත්‍රීවරයා විසින් ඉවත් කරගෙන තිබෙනවා. 

ඒ තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාවටයි ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න 2016 වසරේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ලබන පළමුවන දා වන විට මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය එහිදී අල්ලස් කොමිසමට නියෝග කළේ.

2016 වසරේ මෙම පැමිණිල්ල ඉදිරිපත් වුවද පසුගිය කාලසීමාව තුළ සාක්ෂිකරුවන්ට තිබූ බලපෑම් හේතුවෙන් විමර්ශන කටයුතු නිමා කර ගැනීමට නොහැකිවූ බව අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නිලධාරිනීයක් අධිකරණය හමුවේ කියා සිටියා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, 2016 වසරේ ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් 2019 වසරේ තම සේවා දායකයා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දුන් බව සදහන් කළා. 

ඉන් අනතුරුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අල්ලස් කොමිසම දේශපාලන පළිගැනීමක් වශයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියා.

එසේම, තම සේවා දායකයා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර ඇති බවට කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි නීතිඥවරයා ඉල්ලා ඇත්තේ. එහෙත් එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරු ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එල්ල වී ඇති අනෙක් පැමිණිලි දෙක වූයේ 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් ලක්ෂ දහයක මුදලක් හා රුපියල් ලක්ෂ 25ක මුදලක් අනුග්‍රහය වශයෙන් ලබාගෙන ඒවා පළාත් සභාවේ ගිණුම්වලට බැර නොකර චාමර සම්පත් දසනායක පදනම යටතේ මුදලින් ලබා ගත් බවටයි.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහුව ඇප මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියම කළේ. ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කළ යුතු බවද සදහන් කළා.

 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.