පුත්තලම ප්‍රදේශය කැළඹූ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 75 හැවිරිදි අබ්දුල් ලතිෆ් මහතාය. ඔහු පෙබරවාරි 21 වනදා රාත්‍රීයේ ත්‍රිරෝද රථයක් හයර් සඳහා ගමන් ගොස් නැවත නිවසට පැමිණ නොමැති බව වාර්තා වේ.
පෙබරවාරි 22 වනදා අඩප්පනවිල්ලුව ප්‍රදේශයේ මළ සිරුරක් සොයාගැනීම පිළිබඳ ලැබුණු දුරකථන දැනුම්දීමක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පරීක්ෂණ අනුව, සැකකරු රාත්‍රී 9.30ට පමණ මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ, හයර් එකක් සඳහා ඔහු සමඟ පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී ඇත. එහිදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී රියදුරා ඝාතනය කර, මුදල් සහ ත්‍රිරෝද රථය පැහැරගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.
පසුව, පැහැරගත් ත්‍රිරෝද රථය පුත්තලම මුල්ලයි නිවාස සංකීර්ණය අසල පිහිටි දේවස්ථානයක් අසල අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන අතරතුර සැකකරු තම නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්ද්‍රව්‍යට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බවත්, මුදල් සහ රථය සොරකම් කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවට ප්‍රකාශ කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම පොලීසිය විසින් සිදුකරමින් පවතිනවා.










