දේශීය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව: මාර්තු 23 අධිකරණයට පෙනී සිටීමට නියෝග

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කළ නඩුවකට අදාළව, ලබන මාර්තු 23 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුවට අදාළව අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා සිතාසි නිකුත් කර ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවල විසිනි.

අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ, 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කළ කාලයේදී, ගබඩා පරිශ්‍රයක කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට වාසි වන අයුරින් ප්‍රසම්පාදනය කිරීම හරහා රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදු කළ බවයි.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ “දූෂණය” නමැති වරද සිදු කළ බවට ඔහුට එරෙහිව චෝදනා නගා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසා ඇත්තේ, එය ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී සිදු වූ අතපසුවීමක් විය හැකි බවත්, එහි සම්පූර්ණ වගකීම තමන්ට නොපැවරෙන බවත්ය.

“කළමනාකරුවෙකු ලෙස වගකීමක් තිබුණත්, ක්‍රියාවලියේදී සිදු වූ දෝෂ හෝ අතපසුවීම් වෙනත් පාර්ශවවලින් ද ඇතිවිය හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.

 

Shares: