දේශීය

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමට

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ මහා ව්‍යාපෘතිය අප්‍රේල් 09 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ වුණා.

මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වන අතර, “දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” යටතේ සිදු කෙරෙනු ලබනවා. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ රජයේ මුදල් දායකත්වය යටතේ රුපියල් මිලියන 2,162කට අධික මුදලක් මෙම නවීකරණය සඳහා ආයෝජනය කර තිබෙනවා.

ඉදිරි මාස 15ක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇති අතර, දෛනිකව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් භාවිත කරන කොටුව දුම්රිය ස්ථානය, නවීන, කාර්යක්ෂම සහ මගී හිතකාමී මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ නවීන ස්වයංක්‍රීය ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධති හඳුන්වා දීම, විදුලි සෝපාන (Lifts) සහ ගුවන් පාලම් (Sky bridges) ඉදිකිරීම, ආබාධිත පුද්ගලයන් සහ වැඩිහිටියන්ට පහසු ප්‍රවේශ පහසුකම් සැලසීම, නව ගොඩනැගිලි සංකීර්ණ සහ උසස් සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම, මගී ආරක්ෂාව වැඩිදියුණු කිරීම සිදු කිරීමට නියමිතයි.

මෙම සියලු සංවර්ධන හරහා කොටුව දුම්රිය ස්ථානය, මගී කේන්ද්‍රීය හා තාක්ෂණික වශයෙන් දියුණු ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,
“දියුණු පොදු ප්‍රවාහනයක් නැති රටක් දියුණු රටක් ලෙස සලකන්න බැහැ. අපගේ අරමුණ වන්නේ දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් හා ගෞරවාන්විතව සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමයි” යනුවෙනි.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගී වී තිබෙනවා. එසේම කොළඹ උප නගරාධිපති හේමන්ත වීරසිංහ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ද එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟ කොළඹ කොටුව, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Shares: