අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.
යුද්ධය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදුකිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව හිමි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති තීරණාත්මක සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
සෙලෙන්ස්කි මෙහිදී පවසා ඇත්තේ රුසියාව සමඟ යුද්ධය අවසන් වුවහොත් යුද නීතිය යටතේ අත්හිටුවා ඇති මැතිවරණ ආරක්ෂිත තත්ත්වයන් යටතේ පැවැත්වීමට තමන් සූදානම් බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවූ අතර අදාළ සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග විනාඩි 40ක පමණ දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බව ද විදෙස් වාර්තා පවසනවා.
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් පසුගියදා රුසියානු ජනපති පුටින් සහ අමෙරිකානු ජනපති ට්‍රම්ප් අතර හමුවක් පැවති අතර එහිදී නිශ්චිත තීරණයකින් තොරවයි එම සාකච්ඡා අවසන් වූයේ.
ඉන් අනතුරුව සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුවක් ඊයේ සිදු කෙරුණා.











