ක්‍රීඩා

2026 වසරේ යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්…

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේ ජනවාරි- පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අවසන්වරට 2024 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි කණ්ඩායම් මේ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටියා.

පසුගියවර ශූරයන් වන ඔස්ට්‍රේලියාව හා අනුශූරයන් වූ ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බ.ඉ. කොදෙව් එලෙස සුදුසුකම් ලබාසිටි කණ්ඩායම්.

ඉතිරි කණ්ඩායම් 6න් එක් ස්ථානයක් සත්කාරක රටක් වන සිම්බාබ්වේට හිමිව තිබෙනවා.

මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් රට අමෙරිකාව වන අතර ඔවුන් අමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමට සමත් වුණා.

එමෙන්ම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට අප්‍රිකානු රටක් වන ටැන්සානියාව ද මේ සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

ඒ හැරෙන්නේ මහද්වීපික කලාප සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ආසියානු කලාපයෙන් ඇෆ්ගනිස්තානයත්, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයෙන් ජපානයත් සුදුසුකම් ලබා ගත්තා.

ඊට අමතරව යුරෝපානු කලාපයෙන් ස්කොට්ලන්තය මෙලෙස සිය ස්ථාන තහවුරු කරගෙන සිටිනවා.

තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ICCය විසින් ඉදිරියේ දී කාණ්ඩ හතරකට බෙදීමට නියමිත අතර, එම එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම කණ්ඩායම් තුන සුපර් සික්ස් අදියරට පිවිසෙනු ඇත.

සුපර් සික්ස් අදියර කොටස් 2ක් යටතේ පැවැත්වෙන අතර, ඒ සෑම කාණ්ඩයකින්ම පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේදී එකිනෙකාට මුහුණ දෙනු ඇත.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතා 5කට ඉන්දියාව හිමිකම් කියන අතර, වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව ශූරතා 4කට හිමිකම් කියයි.

 

Shares: