සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩල සඳහා දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම්දෙනතුරු අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED 05/2022 හා එම චක්‍රලේඛවලට අනුශාංගික චක්‍රලේඛ ප්‍රකාරව දේශීය, විදේශීය නිවාඩු අවලංගු කරමිනුයි පසුගිය 18 වැනිදා මෙම නියෝග නිකුත් කර ඇත්තේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදෙස්ගත වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය රාජකාරි පවත්වා ගෙන යාම දුෂ්කර වී ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු සහ තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමද සීමා කර ඇති බැවින් මෙම පියවර ගැනීමට සිදුවන බවත්, එම චක්‍රලේඛයේ සඳහන් වෙනවා.
කෙසේවෙතත් මෙම නව චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වා දෙන්නේ අදාළ විදේශීය නිවාඩු ලබාගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී තිබෙන ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මත ලබාදී තිබූ දේශීය නිවාඩු හිමිකම ද එමඟින් අහෝසි කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම්, රෝයි ද මැල් මහතා සඳහන් කරනවා.
අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම නව චක්‍රලේඛය මඟින් විදේශීය නිවාඩු ඉල්ලුම් කර ඊට අදාළ පුහුණු වීම් ද, වීසා බලපත්‍ර යනාදිය ලබාගෙන තිබෙන, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් සේවකයින් හා නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වෙනු ඇති බවයි.
ඒ හේතුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගන්නා ලද තීරණය බලරහිත මෙන්ම අනීතික බව ද පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, උක්ත කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අභිබවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණයට හා ඊට අදාළව නිකුත් කරන ලද චක්‍රලේඛ හා උපදෙස් වහාම අවලංගු කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා.











