දේශීය

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් බස්නාහිර පළාත තුළ හෙට සිදුකිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (20) උදෑසන 8ට ගම්පහ මහ රෝහලේ දී හදිසියේ ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන ගම්පහ දිස්‍ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, පරිපූරක වෛද්‍ය වෘත්තීය නිලධාරීන්ට අත්සන් තැබීම සිදුනොකරන ලෙසට උපදෙස් ලබාදෙමින් නිකුත් කර තිබූ ලිපියක් හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු නිලධාරීන් ගම්පහ රෝහලේ සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ඔහු ඊට නිසි පිළිතුරක් ලබාදීමට මේ වනවිටත් අපොහොසත් වී ඇතැයි ද ඒ මහතා කියා සිටියා.

මීට පෙර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් තීරණය කර තිබුණේ හෙට දිනයේ සිට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටයි.

බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමග ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබුණා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තික කණ්ඩායම් 07ක් සම්බන්ධ වන අතර වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සියලු වෘත්තිකයන් විසින් සිදුකරන විකිරණ පරීක්ෂණ, CT Scan පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා ඇතුළු සියලු සේවාවන් බිඳ වැටෙනු ඇති.

අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට දිනයේ සිට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇතැයි ද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළා.

Shares: