මෙම දිනවල ප්රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්රිය කරන සරුංගල් සමයත් සමඟ ගුවන් ධාවන පථ ආසන්න ප්රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත කාරණක් බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.
එලෙසම ඔවුන් අවධාරණය කළේ ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්රධාන එක් හේතුවක් ලෙස ගුවන් ධාවනපථ සමීප ප්රදේශවල මෙම සරුංගල් යැවීම සඳහන් කළ හැකි බවයි.
ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් යැවීම සෘජුව බලපාන බාධකයක් සේම කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්රදේශවල ඇති ගුවන් ධාවනපථ සමීපයේ බහුලව සරුංගල් යැවීම අති අවධානම් කරුණක් බව අදාළ නිවේදනයේ වැඩිදුර සඳහන්.











