දේශීය

චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුව සැප්තැම්බර් 23 යළි කැඳවෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.

නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටියා.

ඊට අධිකරණයෙන් අවසර ලබා දුන් විනිසුරුවරයා නියම කළේ සංශෝධිත අධි චෝදනා පත්‍රයේ පිටපතක් විත්තියේ නීතීඥවරුන්ට ලබා දෙන ලෙසයි.

ඉන් අනතුරුව අනතුරුව නඩුව යළි සැප්තැම්බර් මස 23 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ එල්ල කර ඇති චෝදනා ගණන 11ක්.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.

Shares: