දේශීය

‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා සාර්ථකව

”Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා.

වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී ඇත්තේ උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්.

ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණවලට වන අලි මහත් රුචිකත්වයක් දක්වන අතර කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බව⁣ට අනුමාන කෙරේ.

මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වැදීමෙන් ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලු වැව වැව් පිටිවල ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය 05 වනදායි ආරම්භ කෙරුණේ.

එය ඊයේ (07) සහ අද දිනද සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබු ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත් කිරීම සිදු කළා.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, ස්වේච්ඡා සංවිධාන, පරිසර හිතකාමීන්, අවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිසක් මෙම වැඩසටහන සමඟ එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

එමෙන්ම වන අලි වාසභූමි තිරසර ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එය ඉදිරියේ දිවයිනේ සෙසු ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

Shares: