අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.
එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින විමල් වීරවංශ මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවත්, ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි ඉල්ලා සිටියේ.
ඒ අනුව අධිකරණය නියම කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 22 වනදා කැඳවීමටයි.
අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසත් විනිසුරුවරිය විසින් අවවාද කළා.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලනය රජය සමයේයි මෙම නඩුව ඉදිරිපත් කර තිබුණේ.











