රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළා.
එම නඩුව විභාගකරන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද නිවාඩු ලබාසිටීම හේතුවෙනුයි මෙලෙස එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී ඇත්තේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව තිබෙනවා.
එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.










