දේශීය

ජනපති එළැඹෙන 27 ජපානයේ සංචාරයක

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය අතරතුරදී ඔහු ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක්ද පැවැත්වෙනු ඇති බවත් එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක්ද ජනාධිපතිවරයා මෙහිදී ඇමතීමට නියමිතයි.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස එක්පෝ 2025 ඔසාකා ප්‍රදර්ශනය සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වනු ඇති අතර මෙම ප්‍රදර්ශනය මගින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උරුමය සහ ආර්ථික හැකියාවන්ද විදහා දැක්වීම අරමුණු වනවා.

තවද මෙමම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ද ඇමතීමට නියමිතව ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරී පිරිසක්ද එක්වීමට නියමිතව ඇති.

Shares: