දේශීය

විජිත හේරත්, ඉන්දීය විදේශ අමාත්‍ය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබෙනවා.

ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවයි ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක්ද සිදුවී තිබෙනවා.

එහිදී ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙනුයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වී සිටිනවා.

ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති.

මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Shares: