උණුසුම් පුවත්

‘ටිංකර්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සැකකරු හෙට (03) දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් බවයි.

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහු ඊයේ අලුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙතයි භාරදී තිබුණේ.

පොලිසිය ප්‍රකාශ කළේ සැකකරු ඊයේ දිනයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන් බවයි.

මොහු 36 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ ගෝලයෙකු බවයි සඳහන් වන්නේ.

පසුගිය අගෝස්තු මාසයේ පෑලියගොඩ ශ්‍රී ඥානරතන මාවතේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවරුන්ට ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනා ද ඔහුට එල්ල වී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේදී ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙස ද මොහු කටයුතු කර ඇති බව සඳහන්.

Shares: