විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ IMF නියෝජිත කණ්ඩායම අතර හමුවක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
විපක්ෂ නායකවරයා එහිදී IMF නියෝජිතයින්ට පෙන්වා දී ඇත්තේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක S VAT පහසුකම ඉවත් කිරීම නිසා අප රටේ අපනයනකරුවන්ට විශාල හානියක් සිදුවන බවයි.
එමෙන්ම එම පහසුකම ඉවත් කිරීම වහාම නතර කරන ලෙසත්, ඒ සඳහා පියවරක් ගන්නා ලෙසත්, එය අප රටේ අපනයන ක්ෂේත්‍රයට හිතකර දෙයක් බවයි ඔහු සඳහන් කළේ.
එසේම S VAT පහසුකම අප රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එයට විකල්පයක් ලෙස ඇති වැඩපිළිවෙළක් රජයෙන් බිහිවී නොමැති බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරනු ලැබුවා.
අප රටේ ඇති දුප්පත්කමට විසඳුමක් තිරසර ලෙස ක්‍රියාත්මක නොවන බවත්, අස්වැසුම වැඩසටහන තුළින් පාරිභෝජනයට ශක්තියක් ලැබුණත් ආයෝජන ඉතිරි කිරීම් නිෂ්පාදන හා අපනයන යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොමැති බවයි එහිදී ප්‍රේමදාස මහතා කළේ.
මේ හේතුවෙන් රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී ඇති බව ද IMF නියෝජිතයන්ට පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙම තත්ත්වය හමුවේ දුප්පත්කම තුරන් කිරිමේ යම් ඒකාග්‍රතාවයෙන් යුක්ත තිරසර වැඩසටහනක අවශ්‍යතාව ද පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම IMF නියෝජිතයන් හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ රටේ ආර්ථිකයට සහ රැකියා නියුක්තියට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම නිසා විශාල අගතියකට පත්ව ඇති බවයි.
අවස්ථා කිහිපයකදී පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටවූවත් ඊට සමගාමීව ණය ප්‍රතිව්‍යුහගතකරණය, ණය හා පොළිය කපා හැරීම වැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොවීම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසරණ වී ඇති බවයි විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේ.
මේ අනුව කරුණු ගණනාවක් හරහා IMF ක්‍රියාවලිය තුළ රටේ ජනතාව සමාජ ගැටලු රැසකට මුහුණ දෙමින් ඇති මොහොතක ජනතාවට සහන හා ශක්තිය ලබා දීමට මීට වඩා වැඩිදියුණු වූ IMF වැඩපිළිවෙළක අවශ්‍යතාව ද එහිදී ඔහු පෙන්වා දෙනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරමින් රවුෆ් හකීම්, බදුර්දීන්, හර්ෂද සිල්වා, කබීර් හෂිම් යන මන්ත්‍රීවරුනුයි එක්ව සිටියේ.










