නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළා.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ සිද්ධියක් මුල්කරගෙන පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මෙම රිට් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ.
එම පෙත්සම අද කැඳවූයේ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී පෙත්සම්කාර ගුණරත්න වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට ගල්කිස්ස අධිකරණය භූමියේදී පහරදුන් පොලිස් නිලධාරියා එම සිද්ධියට පෙර දඬුවම් මාරුවක් ලබා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණි අයෙකු බව සඳහන් කළා.
එම දඬුවම් මාරුවට හේතු වූ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන සිදුවී නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ.
එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥවරයාට නියම කළේ, එම කරුණු මෝසමක් මාර්ගයෙන් නීතිපතිවරයාට ද නොතීසි ලබා දී කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.
මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරු මේ වනවිට අධිකරණයට ඉදිරිපත් වී ඇප මත මුදා හැර තිබෙන අතර පෙත්සමෙන් ඉල්ලා තිබෙන ඉල්ලීම් දැනටමත් ඉටු වී තිබෙන බව පැවසුවා.
කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම සඳහා කැඳවීම් දිනයක් ලබා දෙන ලෙසයි ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම ජනවාරි මස සඳහා 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.











