දේශීය

වාහනයක් සොරාගෙන පලා යමින් සිටි අයෙකු සිදුකළ අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රියේ කඳාන පොලිස් වසමේ මාරියා මාවත ප්‍රදේශයේදීයි සිදුව ඇත්තේ.

ව්‍යාපාරිකයෙකුගේ නිවසේ නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර යම් අයෙකු පලා ගොස් ඇති අතර පසුව එම ලොරි රථය පසුපස රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබෙනවා.

එහිදී සැකකරු ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක්ද අනතුරට ලක් කර ධාවනය කෙරෙද්දී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියකද ගැටී අනතුරුව ලොරි රථය අසල පිහිටි තාප්පයක ගැටී මාර්ගයේ පෙරළි ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී පළමු අනතුරින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සහ දෙවන අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙවන අනතුරේ යතුරුපැදි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රථය සොරකම් කර අනතුරු සිදුකළ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන කඳාන පොලීසිය වෙත භාරදී ඇති අතර පොලිසිය ප්‍රකාශ කළේ සැකකරු මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත්, සැකකරු අවුරුදු 46ක් වූ ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කඳාන පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Shares: