විදෙස්

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම කඩ කරන සමාගම්වලට එරෙහිව දැඩි පියවර

ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය වයස් සීමාව අවුරුදු 16 දක්වා තහනම් කිරීමට නියමිත අතර එම පියවර කඩ කරන සමාගම්වලට එරෙහිව දඩ නියම කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 16 ට අඩු ඕස්ට්‍රේලියානු දරුවන්ගේ ගිණුම් ඉවත් කිරීමට සාධාරණ පියවර නොගතහොත් දෙසැම්බර් 10 වන දින සිට Facebook, Instagram, Kick, Reddit, Snapchat, Threads, TikTok, X සහ YouTube යන සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ක් (ඩොලර් මිලියන 33 ක්) දක්වා දඩයකට මුහුණ දීමට සිදුවනු ඇති.

එරට රාජ්‍ය ලබන සතියේ සිට මෙම සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසු, සමාජ මාධ්‍ය වේදිකා තමන් වසා දැමූ ළමා ගිණුම් ගණන මාසිකව වාර්තා කළ යුතු බවයි ඕස්ට්‍රේලියානු අමාත්‍යවරයෙක් පැවසුවේ.

සජීවී ප්‍රවාහ සේවාවක් වන Twitch ද මීට සති දෙකකට පෙර මෙම වයස් සීමා තහනම් සමාජ මාධ්‍ය ලැයිස්තුවට එක් කරනු ලැබුවා.

මෙම තහනම ක්‍රියාත්මක වීමෙන් පසු ඒ ඉවත් කරන ලද ගිණුම් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඉල්ලා ඕස්ට්‍රේලියානු eSafety කොමසාරිස්වරයා දෙසැම්බර් 11 වන දින වේදිකා 10 ට නිවේදන යවනු ඇති.

එහිදී වයස් සහතික කිරීම සාධාරණව හා නිවැරදිව සම්පූර්ණ කිරීමට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගත විය හැකි බවයි එරට සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් පවසා ඇත්තේ.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ eSafety විසින් පද්ධතිමය නීති කඩ කිරීම් හඳුනා ගන්නේ නම්, එම සමාජ මාධ්‍ය ආයතනවලට දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම පැනවූ තහනම් නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සිදු කර ඇත්නම්, අධිකරණයක් උපරිම දඬුවම නියම කරන බව ද eSafety නියාමකයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් Google සමාගම පසුගියදා ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ඕනෑම අයෙකු දෙසැම්බර් 10 වන දින සිට එහි YouTube වේදිකාවෙන් ඉවත් කරන බව පවසා ඇති අතර Google ගිණුම්වල අඩංගු පුද්ගලික දත්ත සහ අනෙකුත් සංඥා මත පදනම්ව ඔවුන් විසින් YouTube ගිණුම් හිමියන්ගේ වයස් තීරණය කරනු ඇති.

එසේම Facebook, Instagram සහ Threads හිමි මෙටා ද සැක සහිත කුඩා දරුවන් බ්‍රහස්පතින්දා සිට එම වේදිකාවලින් ඉවත් කරන බවයි ප්‍රකාශ කළේ.

වැරදීමකින් ඉවත් කරන ලද වයස අවුරුදු 16 සහ ඊට වැඩි ගිණුම් හිමියන්ට Yoti වයස් සත්‍යාපනය අමතා රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත් හෝ වීඩියෝ සෙල්ෆියක් ලබා දීමෙන් ඔවුන්ගේ වයස තහවුරු කළ හැකි බව Meta සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Shares: