දේශීය

විදෙස් දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයින් 02ක් ගුවන්තොටේදී කොටු

රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා Green Channel ඔස්සේ රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (29) ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද අලුයම 03.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරණ ගුවන් යානයෙනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ.

එමෙන්ම අනෙක් පුද්ගලයා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ අද අලුයම 03.00ට ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරණ ගුවන් යානයෙනුයි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත ප්ලැටිනම් සෙවන් වර්ගයේ දුම්වැටි 75,600ක් අඩංගු දුම්වැටි කාටූන් 378ක් සොයාගනු ලැබුවේ රේගු නිලධාරීන් විසින්.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි..

Shares: