ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් භාවිත බව පෙන්වා දුන් එතුමා ඉදිරියේදී එවැනි රිය අනතුරු සඳහා රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග ලබා දුන් බවයි සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා පැවසුවේ,
“ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මාර්ග රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා තියෙනවා. නමුත් බරපතල අනතුරු ගත්තාම සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව අපේ රියදුරු මහතුන්ගේ තියෙන නොසැලකිල්ල, අනවධානය වගේ හේතුන් මේකට විශේෂයෙන් බලපාලා තියෙනවා. දැන් අපි ගත්තාම දෛනික මාරක අනතුරු අධ්‍යනය කිරීමේදී වැඩි වශයෙන්ම මාර්ග අනතුරුවලට භාජනය වෙන්නේ විශේෂයෙන් පදිකයෝ. පදිකයෝ 31%ක ප්‍රමාණයක් වාර්ෂිකව අනතුරුවලට භාජනය වෙනවා. ඒ වගේම යතුරුපැදිකරුවන්, පසුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන්. අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි වාහන පාවිච්චි කරන රියදුරන් බොහෝ අය මේකට හේතුවක් වෙනවා මත්ද්‍රව්‍ය සහ බීමත්කම. ඉදිරියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අනවධානයෙන් අන්තරාකාරීව රිය පදවලා තියෙනවානම් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කරන්න පොලිස්පතිවරයා දැනුම්දීලා තියෙනවා.”
යනුවෙන්.











