උණුසුම් පුවත්

කෙහෙළිය ඇතුලු පවුලේ අයට එරෙහිව නඩු 3 ක් ඇති බවට දැනුම් දීමක්

හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු 3ක් ගොනුකර ඇති බව අල්ලස් කොමිසම අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මහාආරච්චි මහතා හමුවේ දන්වා සිටියා.

ඒ පසුගිය පාලන කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙනුයි.

එම නඩු තුන ජනවාරි 20, 29 සහ පෙබරවාරි 13 යන දිනවල කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇති බැවින් ඔවුන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු බහා තබන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව අධිකරණය නියම කළේ අදාළ නඩු බහා තැබීමටයි.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ට මහාධිකරණයේ අධි චෝදනා ගොනුකරන බවයි පෙර නඩු දිනයේදී අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේ.

ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් හා දීමනා ලබා ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට විරුද්ධව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කර තිබුණා.

Shares: