ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබෙනවා.
ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බවයි නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර ඇත්තේ.
මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත්තේ 2025 අංක 11 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුවයි.
මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදී අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයකුම එකී පනතේ නියමයන් ප්‍රකාරව බැඳී සිටින බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා.
එසේම, සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු කොට සේවකයෙකු විසින් 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතු බවයි අදාළ නිවේදනය දැක්වෙන්නේ.
මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇති.
යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි වනවා.











