දේශීය

රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන තොරතුරු සෙවීමේදී නීතිමය ක්‍රියාපටිපාටිය මගහැරීම දේශපාලන කුමන්ත්‍රණයක්ද? – නීතිඥ දිනේෂ් විදානපතිරණ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල සංචාරයට අදාළ තොරතුරු ලබාගැනීමේදී රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත බරපතළ සැකයකට තුඩු දී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අද දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා පෙන්වා දුන්නේ, මෙම තොරතුරු ලබාගැනීම සඳහා දෙරට අතර පවතින ‘අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ප්‍රතිපාදන’ (Mutual Assistance in Criminal Matters Act) භාවිත නොකිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න ගැටලු සහගත බවයි.
නීතිමය ක්‍රියාපටිපාටිය මගහැරීම
පසුගිය නඩු වාරයේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ශානි අබේසේකර මහතාගේ අත්සනින් යුත් ලිපියක් අදාළ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවයි. එහෙත්, මෙවැනි ලිපියකට තොරතුරු ලබාදීමට විදේශීය විශ්වවිද්‍යාල නීත්‍යානුකූලව බැඳී නොමැති බව නීතිඥ විදානපතිරණ මහතා සඳහන් කළේය.
“අන්‍යෝන්‍ය නීති සහයෝගීතා පනත යටතේ කටයුතු කළේ නම් එම තොරතුරු ලබාදීමට ඔවුන් බැඳී සිටිනවා. එසේ නොකර මෙවැනි ලිපි මගින් තොරතුරු ඉල්ලීම නිසා විශ්වවිද්‍යාලය එය ප්‍රතික්ෂේප කළහොත්, ඉන් අගතියට පත්වන්නේ හිටපු ජනාධිපතිවරයායි. මෙය හිතාමතා දේශපාලන වාසි ලබාගැනීමට කරන දෙයක්ද?” ඔහු ප්‍රශ්න කර සිටියේය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශය
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන වෙනත් දිනයක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බවත්, නීතියට ගරු කරන පුරවැසියන් ලෙස ඕනෑම අවස්ථාවක පරීක්ෂණ සඳහා සහාය දීමට සූදානම් බවත් ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ඇයද CID වෙත යන්නේ ජනතාව රැස් කරගෙන හෝ පුවරු ඔසවාගෙන නොවන බවත් ඔහු අවධාරණය කළේය.
අස්ථාවර ජාතික ආරක්ෂාව
රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳවද අදහස් දැක්වූ නීතිඥවරයා, හමුදා මූලස්ථානයට මීටර් 600ක් වැනි කෙටි දුරකදී මනුෂ්‍ය ඝාතන සිදුවන පසුබිමක, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසන ප්‍රකාශ හාස්‍යජනක බව ද වැඩිදුරටත් පැවසීය.

Shares: