උණුසුම් පුවත්

පොලිස් උසස්වීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක්..

 

සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට නිලධාරීන් 45 දෙනකුට මෑතකදී ලබා දුන් උසස්වීම්වලදී තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් පොලිස් නිලධාරීන් 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් විසින්.

මෙම පෙත්සම්වල ප්‍රධාන විත්තිකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය විසින් ගොනු කළ මෙම පෙත්සම්වල ප්‍රධාන චෝදනා වී ඇත්තේ, විභාග ප්‍රශ්න පත්‍රයක් කාන්දු වීම, විභාග ප්‍රතිඵල හිතාමතා ප්‍රමාද කිරීම, උසස්වීම් සඳහා වෘත්තීය පළපුරුද්ද නොසලකා අධ්‍යයන සුදුසුකම් මත පමණක් ක්‍රියා කිරීම යන චෝදනායි.

පෙත්සම්කරුවන් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, මෙම ක්‍රියාවලිය මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස සහ අදාළ විභාග ප්‍රතිඵල අවලංගු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Shares: