එක්සත් ජනපදය ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමේනි ඇතුළු ඉරාන හමුදා සහ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබාදෙන අය සඳහා ඩොලර් මිලියන 10ක් දක්වා ත්‍යාගයක් පිරිනමන බව ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ත්‍යාග වැඩසටහන මගින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සමඟ සම්බන්ධ නිලධාරීන් 10 දෙනෙකු පිළිබඳ තොරතුරු සොයා ගැනීම ඉලක්ක කර ඇති බවයි. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු ස්ථාපිත වූ මෙම හමුදා බලකාය ඉරානයේ උත්තරීතර නායකයාට පක්ෂපාතීව ක්‍රියා කරමින් රටේ ෂියා ආගමික පද්ධතිය ආරක්ෂා කිරීමේ වගකීම දරන සංවිධානයක් ලෙස සැලකේ.
පෙබරවාරි 28 දින ආරම්භ වූ එක්සත් ජනපද–ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලදී ඉරානයේ පැරණි නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මරණයට පත්වීමෙන් පසුව මොජ්තාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ බව වාර්තා වූවා.
එමෙන්ම, ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි, බුද්ධි අමාත්‍ය එස්මයිල් කට්බිබ්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්කන්දර් මොමේනි ඇතුළු ඉහළ නිලධාරීන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමද මෙම ත්‍යාග වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා.
එක්සත් ජනපදය IRGC සංවිධානය විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති අතර, ලෝකය පුරා ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ චෝදනාද එයට එල්ල කර තිබෙනවා. එහෙත් ඉරානය මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, ඒවා දේශපාලන අරමුණු සඳහා එල්ල කරන පදනම් විරහිත ප්‍රකාශ බව සඳහන් කරනවා.











