මෙම වසරේ මාර්තු 21 වනදාට යෙදෙන ජගත් වනාන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ පරිසර සංරක්ෂණය සහ වන සම්පත් ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින්ය.
අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, “වනාන්තර සහ ආර්ථිකය” යන තේමාව යටතේ මෙවර ජගත් වනාන්තර දිනය සැමරීමට සැලසුම් කර තිබූ බවයි. මාර්තු 23 වනදා නුවර එළියේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණද, වර්තමාන ලෝක ආර්ථික සහ දේශපාලන තත්ත්වයන් හේතුවෙන් එම උත්සව කටයුතු සීමා කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, නුවර එළියේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන උත්සවය අවලංගු කරමින් පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සරල වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පැරිස් ගිවිසුමට අනුකූලව පරිසර ආරක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යමින් සිටින අතර, 2030 වන විට මෙරට වන ගහණය 32% දක්වා වැඩිකිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වේ. මෙම ඉලක්කය සපුරාලීම සඳහා “වනස්පති” නමින් විශේෂ ජාතික වැඩසටහනක් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කරමින් පවතී.
එම වැඩසටහන යටතේ පසුගිය වසරේදී වනාන්තර 29ක් රක්ෂිත ලෙස ගැසට් කර ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර මෙරට දෙවන විශාලතම රක්ෂිත වනාන්තරයක් ලෙස සැලකෙන නිල්ගණ වනාන්තරය ද ඇතුළත් වන අතර, පෙර පාලන කාලයන්හි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වූ සහ විනාශ වීමේ අවධානමට ලක්ව තිබූ නිර්දන වනාන්තරය ද ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට හැකිව තිබේ.
මෙම නව වනාන්තර 50ක් රක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ පරිසර ආරක්ෂාව තවත් ශක්තිමත් කිරීමටත්, ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමටත්, අනාගත පරපුරට සුරක්ෂිත පරිසරයක් උරුම කර දීමටත් වැදගත් පියවරක් වනු ඇත.











