පාර්ලිමේන්තුවේ අද පැවැති සභා වාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රටේ බලශක්ති සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රජයට දැඩි ප්‍රශ්න රැසක් යොමු කර තිබෙනවා.
2022 වසරේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රට මුහුණ දුන් දරුණු ආර්ථික හා සමාජික පසුබැසීම මතක් කරමින්, වර්තමානයේ මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය හමුවේ රජය ප්‍රමාණවත් සූදානමක් ගෙන ඇතිදැයි ඔහු විමසා තිබෙනවා.
ඉන්ධන සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රධාන ගැටලු
* රටේ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය හා එය කොපමණ කාලයක් සඳහා ප්‍රමාණවත්ද යන්න හෙළි කරන ලෙස ඉල්ලා සිටීම
* බොරතෙල් හා ගෑස් ආනයනයේ අවදානම් පිළිබඳ නිශ්චිත තක්සේරු ඉදිරිපත් කිරීම
* හදිසි අවස්ථාවල භාවිතා කළ හැකි තෙල් සංචිත පිළිබඳ පැහැදිලි කිරීම
තෙල් මත පනවා ඇති වැට් බදු ඇතුළු බදු ඉවත් කර, වරායේ මිලට ජනතාවට ඉන්ධන ලබාදිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.
ගෝලීය තෙල් මිල ඉහළ යාම හමුවේ, සියලු අමාත්‍යාංශ එකට එක්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත්, ආර්ථිකයට හා උද්ධමනයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ සැලසුම් ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පවසා තිබෙනවා.
ජාත්‍යන්තර ගැටුම් හේතුවෙන් සැපයුම් බාධා වුවහොත්, විකල්ප බලශක්ති ප්‍රභව භාවිතය පිළිබඳ රජයගේ සැලසුම් පැහැදිලි කළ යුතු බවත් ඔහු තවදුරටත් අවධාරණය කලා.
නවතම QR කේත පද්ධතිය යටතේ නියම කර ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත්, වාහන හිමිකම් වෙනස්වීම් හේතුවෙන් QR ලබාගැනීමේ ගැටලු රැසක් පවතින බවත් ඔහු පෙන්වා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
ගොවිතැන, ධීවර කර්මාන්තය හා අත්‍යාවශ්‍ය සේවා ක්ෂේත්‍ර සඳහා වෙන් කර ඇති ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා වහාම විසඳුම් අවශ්‍ය බවත් සඳහන් කර තිබෙනවා.
රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළ ඔහු, දිගුකාලීන ක්‍රමෝපායන් සැලසුමක් රටට අත්‍යවශ්‍ය බව තවදුරටත් අවධාරණය කලා.
නොරොච්චෝල බලාගාරයේ විදුලි නිෂ්පාදනය අඩුවීමත් සමඟ, ඩීසල් බලාගාර මත ආශ්‍රිත වීම ඉහළ යාමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් ඇතිවිය හැකි බවටද අවසන් වශයෙන් ඔහු අනතුරු අඟවා තිබෙනවා.











