දේශීය

පෙටා නව බස් නැවතුම්පොළට හානි කල අයට, දැඩි නීති ක්‍රියාමාර්ග

කොළඹ නවීකරණය කළ පෙටා මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද (10) උදෑසන සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී ඔහු සඳහන් කළේ, මෙම හානි සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කර ඇති බවට සැකයක් පවතින බවයි.

කාන්තා වැසිකිළි සඳහා සවිකර තිබූ ජල කරාමයක් පළමු දිනයේදී ඉවත් කර නැවත සවිකර ඊයේ රාත්‍රියේ (09) නැවතත් ඉවත් කර ඇති බවත් වාර්තා වනවා.

මෙය අහඹු ක්‍රියාවක් නොව, සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

එම ස්ථානයේ CCTV කැමරා වැඩි කිරීම, ආරක්ෂාව තර කිරීම සඳහා සාකච්ඡා පවත්වා මාස 3ක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ආරක්ෂා සහාය ලබාදීම වැනි විකල්ප වලට කටයුතු කරමින් පවතිනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “ආණ්ඩුව විවේචනය කිරීම අයිතියක් වුවත්, මහජන බදු මුදලින් ඉදිකළ දේපළ විනාශ කිරීම කිසිසේත් පිළිගත නොහැකි” බවයි.

සිදුවීම් පිළිබඳව විමර්ශන සිදු වෙමින් පවතින අතර, වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Shares: