ශ්‍රී ලංකා පොලිසිය, නොසැලකිලිමත් හා අනතුරුදායක රිය ධාවනය මර්දනය කිරීම සඳහා නව ක්‍රියාමාර්ගයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා. එමඟින්, මාර්ග ආරක්ෂාව ශක්තිමත් කරමින් වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසා තිබෙනවා.
070-4755600 යන WhatsApp අංකයට, වේගයෙන් රිය පැදවීම, අනාරක්ෂිත ලෙස ඉස්සර කිරීම, එක් රෝදයකින් වාහන ධාවනය කිරීම, නිසි පාලනයකින් තොරව රිය පැදවීම, දුම්රිය මාර්ග හරහා අනතුරුදායක ලෙස ගමන් කිරීම වැනි සිදුවීම් පිළිබඳ වීඩියෝ සාක්ෂි මහජනතාවට ඉදිරිපත් කළ හැකියි.
මෙම වැඩසටහන රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීප අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර, වැරදිකරුවන් වහාම හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
සිද්ධියක් වාර්තා කිරීමේදී, සිදු වූ දිනය, ස්ථානය, අදාළ පොලිස් අංශය සහ වීඩියෝ සාක්ෂි ඇතුළත් කර යොමු කරන ලෙස පොලිසිය ඉල්ලා තිබෙනවා.
ව්‍යාජ හෝ AI මගින් සකස් කරන ලද වීඩියෝ ඉදිරිපත් නොකරන ලෙසද අවධාරණය කර ඇති අතර, මෙම වැඩසටහනට ක්‍රියාකාරීව සහාය දීම මගින් මාර්ග අනතුරු අවම කරගැනීමට සහ නීතිය සුරක්ෂිත කිරීමට හැකි වන බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබෙනවා.











