දේශීය

වෛරස් උණ තත්ත්වය පහවෙයි — දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ

දෙනියාය අධ්‍යාපන කලාපයේ පැතිර ගිය වෛරස් උණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පාසල් හෙට (13) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා පවසා තිබෙනවා.

මුලින් අද දින පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හෙට සිට අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පාසල් පරිශ්‍ර විෂබීජහරණය කෙරේ

පාසල් යළි විවෘත කිරීමට පෙර, මැයි 11 සහ 12 යන දෙදින තුළ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම, විෂබීජහරණය කිරීම, සෞඛ්‍ය ආරක්ෂිත පරීක්ෂාවන් සිදුකරමින් සිටින බව වාර්තා වනවා.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ සිසුන්, ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් සකස් කර දීමයි.

ස්වේච්ඡාවෙන් පාසල් සහ පෙර පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා දායක වීමට කැමති පුද්ගලයින් සහ ආයතන සිටී නම් දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙස බලධාරීන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

පෙර පාසල් තවදුරටත් වසා තැබේ

කෙසේ වෙතත්, දැනට නිවාඩු ලබා දී ඇති පෙර පාසල් මෙම සතිය පුරා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බවද සඳහන් වනවා.

සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ, උණ හෝ රෝග ලක්ෂණ ඇති දරුවන් පාසලට නොයවන ලෙසත්, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත්ය.

දෙනියාය ප්‍රදේශයේ සිසුන්ට යළිත් ආරක්ෂිතව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කරමින් සිටිනවා.

 

Shares: