උණුසුම් පුවත්

අග්‍රාමාත්‍යවරිය සහ ADB සභාපති හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා (Masato Kanda) මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදීයි.

ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි WEF කොංග්‍රස් මධ්‍යස්ථානයේ පැවති 2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීවයි මෙම හමුව පැවැත්වුණේ.

ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ ආර්ථික තත්ත්වය ඇතුළු අනෙකුත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේ පසුගිය සඳුදා (19) යි.

2026 ලෝක ආර්ථික සංසදය ඩාවෝස් හි දී “සංවාදයේ ආත්මයක්” යන තේමාව යටතේ රැස්වන අතර, රාජ්‍ය නායකයින්, රජයේ නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවක් එක්රැස් වනවා.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන පෙළ රාජ්‍ය නායකයින්, ගෝලීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු අමුත්තන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හමු කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

Shares: