අම්බලන්තොට මාමඩල ප්රදේශය ඊයේ (11) රාත්රියේදී කම්පාවට පත් කරමින් බිහිසුණු ඝාතන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. පුද්ගලයෙකුගේ ගෙල ශරීරයෙන් වෙන්කර එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිහිටි පිළිරුවක එල්ලා තිබූ බවට ලද තොරතුරු මත අම්බලන්තොට පොලීසිය විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඊයේ රාත්රීයේදී මරණකරුගේ නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල කපා එය රැගෙන ගොස් ඇති බවයි. සිද්ධිය ඉතා සැලසුම් සහගත ආකාරයකින් සිදුකර ඇති බවටද සැක පළ කෙරෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා මීට පෙර මාමඩල ප්රදේශයේ සිදුවූ ත්රිත්ව ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට පසුව ඇප මත නිදහස්ව ඊයේ දින නිවසට පැමිණ සිටි අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ මහේස්ත්රාත් පරීක්ෂණය හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත් වයි. ආර්. බී. නෙළුම්දෙනිය මහතාගේ ප්රධානත්වයෙන් සිදුකර ඇති අතර, මරණය පිළිබඳ වැඩිදුර වාර්තා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට පතුරම් තුවක්කුවක් වැටී තිබියදී සොයාගෙන ඇති බවටද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. එය මෙම අපරාධයට සම්බන්ධද යන්න පිළිබඳවද විමර්ශන ක්රියාත්මක වනවා.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී මරණකරුගේ මාමණ්ඩියද නිවස තුළ සිට ඇති අතර, පැමිණි සැකකරුවන් සමඟ ඇති වූ පොරබැදීමකදී ඔහුටද කැපුම් තුවාල සිදුවී රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
මෙම බිහිසුණු ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර තිබෙනවා.









