දේශීය

ලක්ෂ 173ක පාඩුවක් සම්බන්ධයෙන් චාමර සම්පත්ට එරෙහි නඩුව ජනවාරි 23ට කල්යයි

ඌව පළාත් සභාව නමින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ පැමිණිලි දෙකක් ජනවාරි 23 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කළා.

ඇප මත සිටින චාමර සම්පත් දසනායක අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ ලේඛන සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බවයි.

ඒ අනුව ලේඛන වාර්තා කැඳවීමට සිහිකැඳවීමක් යොමු කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේත්‍රාත්වරයා නඩු විභාගය ජනවාරි 23 තෙක් කල් තබනු ලැබුවා.

චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යයවරයාව සිටියදී පළාතේ ළදරු පාසල් දරුවන් සඳහා බෑගයක් ලබාදීමට බැංකුව මගින් අනුග්‍රාහකත්වයක් ඉල්ලා ඇති අතර එම අනුග්‍රහකත්වය ලබා නොදීමේ හේතුව පාදක කර ද්වේශ සහගතව මෙම ගිණුම් හය ඉවත් කරගෙන අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරනු ලබනවා.

Shares: