විදෙස්

පාකිස්ථානයේ ස්ථාන තුනකට බෝම්බ ප්‍රහාර – 25කට දිවි අහිමියි

පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ අතර නිරිතදිග බලුකිස්තාන පළාතේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

එමෙන්ම තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බලුකිස්තාන් ජාතික පක්ෂයේ (BNP) ජ්‍යේෂ්ඨ නායකයෙකු පවසා ඇත්තේ සාමාජිකයින් සිය ගණනක් රැස්ව සිටි පළාත් අගනුවර වන ක්වෙටා හි ක්‍රීඩාංගනයක වාහන නැවැත්වීමේ ස්ථානයේ සිදු වූ එම පිපිරීමෙන් පුද්ගලයින් බොහෝ ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ඔහු පැවසුවේ.

ඉරාන දේශසීමාව අසල බලුකිස්තානයේ තවත් ප්‍රහාරයකින් ඊයේ ජීවිත පහක් අහිමි ව ඇති අතර, කයිබර් පක්තුන්ක්වා පළාතේ ඔවුන්ගේ කඳවුරට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සොල්දාදුවන් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බලුකිස්තානය පකිස්ථානයේ විශාලතම සහ සම්පත් බහුලම පළාතත්, එහි දුප්පත්ම පළාතත් වන අතර මානව සංවර්ධන දර්ශක ලකුණු පුවරුවල නිතිපතා පහළම ස්ථානයේයි පසුවන්නේ.

බලුකිස්තාන ජනවාර්ගික සාමාජිකයින්ගේ යහපැවැත්ම සඳහා වැඩි අයිතිවාසිකම් සහ ආර්ථික ආයෝජන ඉල්ලා සිටිමිනුයි BNP පාක්ෂිකයන් මෙසේ උද්ඝෝෂණ පවත්වන්නේ.

පක්ෂයේ ප්‍රධානී අක්තාර් මෙන්ගල්, ක්වේටා රැලියේ කතාව අවසන් කර එම ස්ථානයෙන් පිටව යන විට ප්‍රහාරය එල්ල වී ඇති අතර සමාජ මාධ්‍යවල සටහනක ඔහු “ආරක්ෂිත” බවට සඳහන් කොට තිබෙනවා.

Shares: