මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව තිබෙන බව ශ්රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් පමණ අද අභියාචනාධිකරණය හමුවේයි කැඳවනු ලැබුවේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවුණා.
එහිදී ශ්රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දුන්නේ මේ වන විට ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදාහැරීමට හැකියාව තිබෙන බවයි.
ඊට අමතරව ශ්රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමි වන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්රී ලංකා රේගුව විසින් මුදාහැර තිබෙන බවත් රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ප්රශ්න කළා.
එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති නීතිඥවරයා ප්රකාශ කළේ.
ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා මෙහිදී තර්ක කළේ මෙම වාහන මුදාගැනීමේ දී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවටයි.
මෙහිදී තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකර සමතයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණය නියම කළේ.











