දේශීය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම අද (27) මුදල් අමාත්‍යාශයේ දී සිදුවුණා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් කිරීම සිදු කළේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසිනුයි.

ආචාර්ය සූරියප්පෙරුම මහතා සහ ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් තනතුරෙහි දිවුරුම් දීමට නියමිත Matthew Duckworth මහතා අතර එම ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවූවා.

ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එහි ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව දරණ අඛණ්ඩ උත්සාහයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

එහිදී නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කාලෝචිත අයුරින් අවසන් කිරීම සඳහා‚ ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීමයි මෙම ගිවිසුම් මඟින් පිළිබිඹු වන්නේ.

එමෙන්ම ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන ලබා දීමට එකඟ වී තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39ක්.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට එළඹීම තුළින් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනට දායකවීම පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගැඹුරු සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි.

තවද මෙම ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගීතාවයට සහ සබඳතාවයට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරනු ලබනවා.

Shares: