දේශීය

වනාතවිල්ලුවේ කඩොලාන විනාශ කරන පිරිසක් සොයා මෙහෙයුම් – අයෙක් මාට්ටු

වනාතවිල්ලුව වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා සිදුකළ මෙහෙයුමකදි එක් සැකකරුවෙකු සිය භාරයට ගැනිමට පුත්තලම වන අඩවි නිලධාරීන් සමත්ව තිබෙනවා.

නිලධාරීන් අහසට වෙඩිතබා සැකකරුවන් හඹා ගොස් ඇති අතර තවත් සැකකරුවන් 06 දෙනෙකු පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

වනාතවිල්ලුව, වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටින බවට පුත්තලම වනඅඩවි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණේ දින කිහිපයක සිටයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්, ධීවර යාත්‍රා යොදා ගනිමින් එක් කණ්ඩායමක් කලපුවෙන් ද, තවත් පිරිසක් ගොඩබිමෙන් ද ඊයේ පස්වරුවේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

එහිදි කඩොලාන කපමින් සිටි පිරිස පලායාමට තැත්කර ඇති අතර නිලධාරීන් අහසට වෙඩි තබා සැකකරුවන් පසුපස හඹා ගොසිනුයි එක් සැකකරුවෙකු සිය භාරයට ගෙන ඇත්තේ.

එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ කඩොලාන කපමින් සිටි තවත් 06 දෙනෙකු පලාගොස් ඇති බවයි.

ඔවුන් සොයා මේ වනවිට එම නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

වනඅඩවි නිලධාරීන් භාරයටගත් සැකකරු වනාතවිල්ලුව පොලීසියට භාරදීමට නියමිතයි.

Shares: