උණුසුම් පුවත්

කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු රැසක් එළියට

කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අද (12) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින්.

ඒ, කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට එම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව මෙම තොරතුර දකුණ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දැනුම් දී දකුණ පළාතේ පොලිස් කණ්ඩායමක්ද සමගිනුයි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අද අලුයම කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ.

ඒ අනුව පොලීසියට දැනගැනීමට ලැබී ඇත්තේ ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් කුඩා බෝට්ටුවකට මාරු කර ඇති බවටයි.

පසුව කුඩා බෝට්ටුවෙන් වෙරළ දෙසට රැගෙන ආ මත්ද්‍රව්‍ය, කඹයක් ආධාරයෙන් මුහුදේ පාවෙන සේ දමා ගොස් තිබූ අතර ඒවා රැගෙන ඒමට ගිය සැකකරුවන් 7දෙනෙකුයි වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණේ.

මුහුදේ පාවෙමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය ඇතුළත් මලු 19ක්ද මෙහිදී ගොඩබිමට ගෙනැවිත් කිරින්ද පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

කිලෝග්‍රෑම් 345ක් පමණ බරකින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවටයි සැකකෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා කිරින්ද පොලිස් ස්ථානයට රැගෙන ආ අතර පසුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණා.

ඒ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන රථවාහන 6ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රදේශවාසියෙකු පැවසුවේ අදාළ වෙරළ තීරය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට සිදුවූ බවයි.

Shares: