උණුසුම් පුවත්

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබුණ රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ මෙලෙස පස්කන්ද කඩා වැටී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශය තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අද උදෑසන පස්කන්ද කඩා වැටුණු ස්ථානය මාර්ග සංවර්ධන නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට නියමිතයි.

මේ අතර නායයෑම් හේතුවෙන් මේ වන විට වසා ඇති පහළ කඩුගන්නාව මාර්ගය වර්ෂාව නොමැති අවස්ථාවලදී පමණක් එක් මංතීරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කේ.එම් බණ්ඩාර මහතා කියා සිටියේ අදාළ මාර්ගයේ වාහන ගමනාගමනයට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක 7කට සිදුකර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, කුරුණෑගල, නුවරඑළිය යන රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ අතර කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් 2 මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කළු,ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම වාර්තා වන්නේ නිල්වලා ගඟ, තලගහගොඩ සහ පානදුගම යන ප්‍රදේශවලින් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.

එසේම දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර එමගින් තත්ත්පරයට ඝන අඩි 16,200 බැගින් ජලය මුදාහැරීමක් සිදුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.

Shares: