දේශීය

කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් කළ 02ක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට අධික මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් පුද්ගලික ආයතනයකට වයිෆයි (WI-FI) ඇන්ටනා ලබාදෙන බවට පවසා පොරොන්දු වූ පරිදි භාණ්ඩ ලබා නොදී රුපියල් තුන්කෝටි හැටනව ලක්ෂ අසූනවදාස් හයසිය අසූහතරක (රුපියල් 36,989,684/=) මුදලක් මෙලෙස වංචා කර ඇති බව සඳහන්.

ඒ අනුව, ඊයේ (24) මෙම සැකකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 37 වයස්වල පසුවන මට්ටක්කුලිය හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් ඊයේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: